මිනිසා මවා අවසන් කර ආපසු යන්නට සැරසුණු මැවුම්කරු දුටුවේ අනන්ත රාගය හා පරම විරාගය තවමත් ඔහු ගෙනා කූඩය තුළ ඉතිරිව ඇති බවයි. උභතෝකෝටිකයක සිර වූ මැවුම්කරු, විරාගය හා රාගය එකට දමා දෑතේ නොඇලෙන පදමට සැකසුවේය. එය ගුළි දෙකක් ලෙස සැකසූ මැවුම්කරු ඒවා පපුව දෙපස අලවා යන්නට ගියේය.
ක්‍රිශාන්ත කුඩාකේශර අත ගැසුවේ මේ සම්මිශ්‍රණයටයි. ඔහු කවුද? ඔහුට රාගය, විරාගය වෙන් කරගත හැකි වේවිද? පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ සල්ලාලකම, ඇය පත්තිනි දෙවොලක පූජාසනයක හිඳුවා පුදකිරීමට ඔබට ඉඩ ලබාදේවිද යන්න සැකෙවින් කිව නොහැක.
මරාගත් මුවා කෙරෙහි වඩාත්ම ප්‍රේම කරන්නේ වැද්දා බව සැබෑව. එනිසා වැද්දා තුළ ප්‍රේමය නැතැයි කීමට ඉක්මන් නොවිය යුතුය. ප්‍රේමය, විරහව ආදී එකී මෙකී නොකී වචනවලට අරුත් දෙන්නට වෙර දැරීම පසෙකට දමන්න. හිස්මුඳුන පසුකර ගසාගෙන ගිය වලාකුළ යළිත් සොය යා යුතුද, නොයා යුතුද?