ආදරයේ උල්පත වූ කලී අම්මා ය. අම්මා තරම් කිසිවෙකුත් කිසිවෙකුට ආදරය නොකරයි. අම්මා යනු ආදරයේ සංකේතයයි.
ලෝකය බිහි වූ දා සිට අපේ ඇට මස් ලේ නහර වලට කාන්දු වී ඇති, කා වැදී ඇති අදහස එහෙම ය. තාත්තාව අමතකව වී යන්නට ඇත්තේ එනිසාවෙන් විය හැකි ය.
තාත්තාගේ ආදරය අත්හැරිණි. නොසලකා හැරිණි. නැතහොත් හඳුනාගත නොහැකිව මග හැරිණි.
තාත්තා සිඹ සිඹ ආදරය පෙන්වන්නේ නැත. අපමණ දුකකදී වත් හඬා වැටෙන්නේ නැත. ඇඟ ලේ කිරි කළ හැකි වන්නේත් නැත.
නමුත් ආදරයෙහි නිර්මාතෘවරයා තාත්තාය.
අම්මා ආදරයේ උල්පත නම්, ඒ උල්පත පෝෂණය කරන අසිරිමත් ආදර පෝෂකය තාත්තාය.