මානව වර්ගයා මුළුමනින්ම පාහේ මිහිපිටින් අතුගා දමන්නට තරම් ප්‍රබලව ඉන්දියානු සාගරාභ්‍යන්තරයෙන් හිටිහැටියේම හිස ඔසොවන්නේ කිසිවෙකුටත් වැළැක්විය නොහැකි අන්දමේ භයංකර වසංගතයකි. එක් අතකින් එය, එළැඹෙන්නට නියමිත මහා ව්‍යසනයක පූර්වනිමිත්තක් මෙනි.
සිග්මා බළකායේ ක්‍රියාකාරිකයන් වන ලීසා කමින්ස් හා මන්ක් කොකලිස් මේ භයංකර හා අප්‍රසන්න ව්‍යසනයට පිළිතුරු සොයන්නට උත්සාහ දරන්නේ, තාවකාලික රෝහලක් බවට පත්කරගත් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක සිටය. එහෙත් බලාපොරොත්තු නුවූ මොහොතක නෞකාවට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ලකරන ත්‍රස්තවාදී කණ්ඩායමක් එය ඔවුන්ගේ ග්‍රහණයට ගන්නේ, ඉනික්බිති නෞකාව දිය මත පාවෙන ජෛව ආයුධ පර්යේෂණාගාරක් බවට පත්කරගනිමිනි.
ලෝකය පුරා ඉතා ශීඝ්‍රයෙන් මේ වසංගතය පැතිරෙන්නේ කාලය පවා මේ අභියෝගයේදී සතුරෙකු බවට පත්කරමිනි. මේ ලෝක විනාශය හමුවේ සිග්මා අණදෙන නිලධාරී ග්‍රේ පියර්ස් සටනට වැටෙන්නේ, ඉන් පෙර වතාවකදී තමා මරාදමන්නට පවා උත්සාහ කළ සුරූපී අපරාධකාරිය සමඟ එකට එක්වය.
ලෝ පරසිදු ගවේෂකයකුගේ ගමන් මඟ සොයා යමින් ඔවුන් දෙදෙනා මේ වසංගතයට පිළියම් සොයාගන්නේ මානව ඉතිහාසයේත්, මානව ජාන කේත තුළත් සැඟව තිබුණු බියකරු හා අතිශය අද්භූතජනක රහස් රැසක්ද හෙළිදරව් කරගනිමිනි.